Grab the RSS feed

මනෝ විද්‍යාත්මක උපදේශනය



මනෝ විද්‍යාව වු කලි මිනිසාගේ මනස සහ චර්යාව පිළිබදව කරනු ලබන විද්‍යාත්මක අධ්‍යයනයක් වශයෙන් දැක්විය හැක.

වර්තමානයේ දී මනෝවිද්‍යාව ඉතා දැවැන්ත විෂයක් ලෙස දියුණු වී පවතී. එමෙන් ම බොහෝ දෙනා මනෝ විද්‍යාව තමාගේ ජිවිතයට නව ආලෝකයක් ලබාදෙන විෂයක් ලෙස සැලකීමට පුරුදු වී ඇති අතර මනෝවිද්‍යාව ඉගෙනීමට මහත් රුචියක් ද දක්වන බව පෙනේ. මනෝවිද්‍යාව විවිධ ක්ෂේත්‍ර ගණනාවකින් සමන්විත වී තිබේ. සාමාන්‍ය මනෝවිද්‍යාව, අසාමාන්‍ය මනෝවිද්‍යාව, ළමා මනෝවිද්‍යාව, අධි මනෝවිද්‍යාව, අධ්‍යාපන මනෝ විද්‍යාව, ජිව මනෝවිද්‍යාව සහ උපදේශන මනෝවිද්‍යාව ආදිය ඉන් කිහිපයකි. අප ඉහත සදහන් කළ මනෝවිද්‍යාත්මක උපදේශනය අයත්වන විෂය ‍ක්ෂේත්‍රය ලෙස සැලකිය හැක්කේ උපදේශන මනෝවිද්‍යාවයි.

දැන් අප මනෝවිද්‍යාවේ ඉතිහාසය මදක් විමසා බලමු. මනෝවිද්‍යාව ස්වාධීන හා විද්‍යාත්මක විෂයක් බවට පත්වුයේ 19 වන ශත වර්ෂය අගභාගයේ දීය. නමුත් මනෝවිද්‍යාව ඉතා දිගු අතීතයක් ඇති බව එහි ඉතිහාසය දෙස බැලු විට පෙනීයන කරුණකි. මිනිසා ලොව බිහි වු මුල් යුගවල සිටම තාමගේ මනසේ ස්වභාවය සහ එහි ක්‍රියාකාරිත්වය ගැන විමර්ශනය කිරීමට පුරුදුව සිටියේය. ලෝකයේ පුරාණ ශිෂ්ඨාචාර වන ඉන්දියානු ,චීන ,ග්‍රීක ,ඊජිප්තු බැබිලොනියානු ආදී ඒවායේ මෙයට සාධක දැකිය හැකිය. අවුරුදු පනස්දහසකට වඩා පැරණි මෙම ශිෂ්ඨාචාරවල මනස පිළිබදව විමර්ශණය හෙවත් මනෝවිද්‍යාව පැවතුනේ දාර්ශනික විෂයයක් ලෙසය. එකල දර්ශනය පොදු විෂයක් ලෙස සැලකුනු අතර සෑම ශාස්ත්‍රිය විෂයකම දාර්ශනික සංකල්ප අන්තර්ගත විය. ජිව, භෞතික, රසායන සහ ‍වෛද්‍ය ආදි වු ස්වභාවික විද්‍යා විෂයයන් ස්වභාවික දර්ශනය වශයෙන් පැවතුන අතර සමාජ, ආර්ථික, දේශපාලන, සමාජීය විද්‍යා විෂයයන් සමාජ දර්ශනය වශයෙන් පැවතුණේය. මෙහි දී මනස සම්බන්ධව සිදු කරන අධ්‍යයනය පැවතුනේ මනස පිළිබද දර්ශනය වශයෙනි.

මනෝවිද්‍යාවේ දියුණුවට‍ පුරාණ ග්‍රීකයන්ගේ චින්තනය ඉතා‍ වැදගත් වී තිබේ. ඔවුන් විශ්වාස කළ ආකාරයට මනෝවිද්‍යාව වු කලී මනස පිලිබද දර්ශනයකි. ශ්‍රෙෂ්ඨ ග්‍රීක දාර්ශනිකයෝ මනස පිළිබදව සහ එහි ස්වභාවය පිළිබදව සෙවිමට උනන්දු වුහ. මේ අය අතුරින් ක්‍රි.පු. 4 වන සියවස අගභාග‍යේ ජිවත් වු ප්ලේටෝට ඉතා වැදගත් තැනක් හිමිවෙයි. මිනිසෙකුට ඔහුගේ ශරීරය හා ආත්මය යනුවෙන් කොටස් 2ක් ඇති බව ඔහු කියා සිටියේය. එකල මනස වෙනුවට ආත්මය යන පදය ග්‍රීකයන් විසින් භාවිත කරන ලදී. මිනිසාගේ සියලු ක්‍රියාකාරකම් වලට හේතුව මෙම ආත්මය බව ප්ලේටෝ කියා සිටියේය. තවත් ශ්‍රේෂ්ඨ ග්‍රීක දාර්ශනියකු වු ඇරිස්ටෝටල් ද ආත්මය සම්බන්ධයෙන් කරුණු දක්වා තිබේ. ඔහු ප්ලේටෝගේ ශිෂ්‍යයෙකි. මිනිසාට පමණක් නොව ශාක හා සතුන්ට ද ආත්ම පවතින බව ඇරිස්ටෝටල්ගේ මතය විය. තව ද ආත්මය පුද්ගලයාගේ ජීවයේ මුලධර්මය බව ද ඔහු කිවේය. මෙලෙස ග්‍රීක දාර්ශනියකයන් විසින් මනෝවිද්‍යාවේ එන විවිධ සිද්ධාන්ත ගොඩනගන ලදී.

මනෝවිද්‍යාවේ ඉතිහාසය ගැන විමසිමේ දී 16 වන සියවසේ ජිවත් වු ප්‍රංශ ජාතික රෙනේ දෙකාර්න් කැපී පෙනෙන පුද්ගලයෙකි. ප්‍රථම වරට ආත්මය යන පදය වෙනුවට මනස යන පදය හදුන්වා දුන්නේ මොහුය. මිනිසා සහ ශරිරය යනුවෙන් කොටස් දෙකකට වෙන්කල හැකි බව ඔහු ප්‍රකාශ කලේය. ඉන්පසු මනස පිළිබද අධ්‍යයනයන් වෙනමත් ශරීරය පිළිබද අධ්‍යයනයන් වෙනමත් අංශ දෙකක් ලෙස වෙන වෙනම වර්ධනය විය.

18 වන හා 19 වන ශතවර්ෂවල ජීව, රසායන, භෞතික, වෛද්‍ය විද්‍යා මෙන්ම සමාජ විද්‍යාවන් හා විශේෂයෙන් මානව විද්‍යා ආදී විද්‍යාවල දියුණුව මනෝ විද්‍යාවේ සංවර්ධනයට බෙහෙවින් ඉවහල්විය. එම විද්‍යාවල සොයාගත් නවීන සොයාගැනිම් හා මතවාද මනෝවිද්‍යාවේ සෛද්ධාන්තික අංශයේ දියුණුවට බලපෑවේය. විශේෂයෙන් ම චාර්ල්ස් ඩාවින්, ඇල්බට් අයින්ස්ටයින්, හර්බට් ස්පෙන්සර්, ෆැන්සිසි ගැල්ටන් ආදීන් ගැන මෙහිදී සදහන් කල හැකිය. මෙලෙස දාර්ශනික පදනමක් මත ගොඩනැගුණු මනෝවිද්‍යා විෂයට වෙනත් විද්‍යාවල ආභාෂය ද ලැබුණි. මිනිසාගේ ස්නායු පද්ධතිය ප්‍රවේනි විද්‍යාත්මක දැනුම හා ශරීරයේ ජෛව රසායනික ක්‍රියාවලින් ආදිය පිළිබද කරන සොයාගැනීම් ද මනෝ විද්‍යවේ දියුණුවට හේතුවිය.

මනෝවිද්‍යාවේ දියුණුව හා සංවර්ධනයට බලපා ඇති තවත් බොහෝ විෂය ක්ෂේත්‍ර තිබේ. මානව විද්‍යාව ආගම, සාහිත්‍ය, කලාව, ආදිය ඒ අතර වැදගත් තැනක් ගනියි. මිනිසාගේ විවිධ සංස්කෘතින් අතර පවතින වෙනස්කම් හා සමානකම් ආදිය ද මානව චින්තනය හා චර්යාව කෙරෙහි සංස්කෘතික අංශයේ බලපෑම ආදිය පිළිබදව ද මානව විද්‍යාත්මක කරන ලද බොහෝ අධ්‍යයන වලින් ලබාගත් දැනුම මනෝවිද්‍යාවේ වර්ධනයට ආධාර වී තිබේ. සෑම ආගමකම සදාචාර මනෝවිද්‍යාත්මක පදනමක් පවතියි. තම ආගම ඇදහීම සදහා මිනිසා තුළ ස්වභාවික ප්‍රේරණයක් ඇති බව විලියම් ජේම්ස් වැනි මනෝවිද්‍යාඥයන් පෙන්වා දී ඇත. තවද ලෝකයේ බිහි වු සෑම සාහිත්‍ය කලා නිර්මාණයක් ම මනෝ විද්‍යාවේ සංවර්ධනයට දායක වී තිබේ. ලෝකයේ මෙතෙක් බිහි වු ශ්‍රේෂ්ඨ කලා කෘති හා උසස් සංගීත නිර්මාණ වලින් මිනිසුන්ගේ භාව ප්‍රකාශ කරයි. සෑම කලා කෘතියකින් ම මිනිසුන් මානසික වින්දනයක් ලබයි. මිනිසුන්ගේ මනෝභාව හෙලි කරන මෙවැනි කලා නිර්මාණ මනෝවිද්‍යාවේ දියුණුවට ඉමහත් සේවයක් ඉටු කර තිබේ.

මනෝවිද්‍යාව යනු මිනිසාගේ මානසික ජිවිතය පිළිබද විද්‍යාවයි යනුවෙන් ඇමෙරිකානු ජාතික ‍මනෝවිද්‍යාවඥයෙකු වන විලියම් ජේම්ස් පැවසීය. 20 වන සියවස මුල් දශකයේ දී බිහි වුනු චර්යාවාදයේ නිර්මාතෘ වු ජේ.බී. වොට්සන් නැමැති මනෝ විද්‍යාඥයා මනෝවිද්‍යාවේ පදනම වශයෙන් සැලකුවේ මනස නොව චර්යාවයි. මනෝවිද්‍යාව යනු චර්යාවක් අධ්‍යයනය කිරීමයි යනු වොට්සන් දැරූ මතය විය. නමුත් නුතන මනෝ විද්‍යාඥයෝ මිනිස් මනස හා චර්යාව යන අංශ දෙකම ‍මනෝවිද්‍යාව ලෙස පිළිගනිති.

ඉහත සදහන් වු සියලුම කරුණු සැලකිල්ලට ගත් කල පෙනෙන්නේ මනෝවිද්‍යාව දර්ශනයෙන් ඉපදී වෙනත් විද්‍යාවන්ගෙන්ද පෝෂණය ලබමින් පරිණත වී ඇති බවයි. විද්‍යාවන්ගෙන් පමණක් නොව ආගම, කලාව වැනි විද්‍යාත්මක නොවන විෂයයන් වල ඇතැම් සංකල්ප ද මනෝවිද්‍යාව තුළ පවතියි. එම නිසා අද මනෝවිද්‍යාව යැයි සැලකෙන්නේ ස්වභාවික විද්‍යාවන් හා සමාජ විද්‍යාවන් අතර පවත්නා සුව්ශේෂ විද්‍යාවකි.

1 comments:

  • yardleyulloa said...

    Harrah's Cherokee Casino Resort, Cherokee, NC Jobs - KTH
    Find 충청남도 출장샵 Harrah's Cherokee Casino 서산 출장샵 Resort, Cherokee, NC Jobs, Employment, 여수 출장안마 Phone number, 동두천 출장마사지 Games, Schedules, 전주 출장안마 Address, Phone number,

  •